Monday, November 5, 2018

අයාලේ යන සුළග කිවුවට
එපා ඔය හැටි රගනු පෙතිහැර
රේණු විදිනා පිපුනු මල් දැක
බවුන් වඩනා බඹර සිත් නැත...

රේණු ගලවා අතට දුන්නත් ස්නේහයෙන් පිරි හදවතින්
බඹර සිත නැහැ ආලයෙන් නැවතුනේ මල ලග කිසිලෙසින්
දැන දැනත් ඒ බව මලේ හිතුවක්කාර කම් ඇයි මේ ලෙසින්
බලෙන් දෙනු බෑ බලෙන් ගනු බෑ ආදරේ එහෙමයී ඉතින්

මලක රොන් ඉව කරපු පලියට
බඹර කුමරෙකු වේද සලෙලෙකු
බඹරු ඉව කර ගිහපු පලියට
මලක් නටුවෙන් හැලිය යුතු වෙද

Tuesday, October 9, 2018

ඔක්තෝම්බර් 10

ඔක්තෝම්බර් 10

නිදි ගැට කඩ කඩ
ඇසුත් බාගෙට ඇරගෙන
කුස්සියට ලංවෙද්දි හෙමිහිට
අමුතු සුවදක් එනව නහයට...

අම්මෙ කෝ තේ හැදුවද
මොකෝ මේ දඩි බිඩිය පාන්දර
අම්මගෙන් අහගෙනම ඊළගට
ගෑස් ලිප උඩ සූස් සද්දෙට පැහෙන
හට්ටියට එබෙනවා මං නිමේශෙට ...

හට්ටියේ ඉදෙන කිරිබත
දැක්ක මොහොතෙම ප්‍රශ්නෙ මට
අහනවා අම්මගෙන් විගහට
කාගෙ උපන්දිනේද අම්මෙ අද...

"හරිශෝක් ගෙදර ලොකු ඉලන්දාරියා
ඒකවත් මතක නෑ ගොනාට
අම්මෙ මූට දෙන්නෙපා තේ හදල
ඕනි නම් හදා ගෙන බීපං මැට්ටා"

අම්මට උදවුවට කුස්සියේ පැත්තක
ළූණු කප කප මට විරිත්තන
අක්ක පනිනවා කයිය මැද්දට..

කටවහං හිටපං ගෙම්බි
ඇහුවෙ මං අම්මගෙන් ඒක
අනික උපන්දින මතක තියාගන්නෙක
ඒව ඇවිදින් කෙල්ලොන්ගෙ වැඩ

ඔක්තෝම්බර් නේද මේ
කවද්ද දවස අද
හරිනේ - මතක් උනා මට
ඔක්තෝබර් වල කොහෙද වෙන උපන්දින
තාත්තගෙ උපන්දිනේම ඇර...

අම්මගෙ ඕඩරේ අරගෙන
කෙහෙල් ගාලට දුවනවා හනිකට
කපාගෙන හොද කොල දෙක තුනක්
දුවනවා ආයෙම කුස්සියට

"මේන් ගෙනාව අම්මෙ මං"
වීරය වගේ කියාගෙන
ගෙනාපු සේරොම කොල ටික
දානවා කුස්සියෙ මේසෙ උඩට
දැන් මේසෙ පිරෙන්නම කෙහෙල් කොල


"කෙහෙල් කොල මොකටද ඔච්චර
අනේ මන්ද ලොකු පුතේ උඹ නම්
අපරාදෙ ගහටත් නෑනෙ දැන් ඒ ටික
එකක් තිවුනම ඇතිනෙ කිරිබතට "...

"අන්න තේ හදල ඇති වට්ටිය යට
මල්ලිටත් කතා කර ගෙන
තාත්තගෙ තේ එකත් අරගෙන
ගෙනෙහින් දෙන්න කාමරේට "

මලයවත් ඇහැරවල හනිකට
තාත්තගෙ තේ එකත් අරගෙන
දුවනව අම්මලැයී කාමරේට
උදේ පාන්දරම
පොල් සයිස් කණ්නාඩි දෙකත් දාගෙන
තාත්ත ඉන්නවා ලිය ලියා මොනවද....

"තාත්තෙ හැපී බටූ "
තේ එක මේසෙ උඩ තියන ගමන්
දත් තිස් දෙකම විහිදුවල - විරිත්තගෙන
සුභ පතනව තාත්තට...

මූණ පිරෙන්න ඇදෙන
අපේ තාත්තටම විතරක් තිබ්බ
හරිම ආදරණීය
ඒ අහිංසක හිනාවත් එක්ක
තාත්ත කියනවා මෙහෙම
"යන් පුතේ මන් එන්නම් කුස්සියට "

තේ එකත් අරගෙන හනිකට
තාත්තත්  එනව කුස්සියට
කිරිබත හැදෙනකම් සේරොම
වටවෙලා කුස්සියෙ මේසෙට
රස කතා සංගමය - තාත්තා සභාපති...

ඔක්තෝම්බර් දහය
දවස පටන් ගත්තෙ එහෙමයී ඉස්සර
එදා දවසෙ තිබ්බ සිරියාවට
තාමත් ඉව අල්ලනව හොරෙන් හිත...

අහස වැහෙන්නම පාළු මූසල ගතිය
කොහෙන් ආවද මන්ද මේ වැහි අදුර
අහපන් මිත්‍රයා මොහොතකට
නොහිටියත් දැන් අපි ළග
තාත්ත ඉපදුණු දවස අද...

ගෙදර කුස්සියෙ කිරිබත් හට්ටිය වෙනුවට
අද ඉදෙන්නෙ දන් බත් උනාට
වෙනද වගේ කුස්සිය ලස්සන වෙන්න
තාත්තගෙ කටහඩ නැති උනාට
අඩන්න තියාගන්න නම් එපා අද
එදා වාගෙම හිනා වෙලා හිටපං ලස්සනට
එකම එක කළු වලාවක්වත් නැතුව...
මල් යාය පීදෙන්නෙ එතකොට
පැල පවා දළු ලන්නෙ එතකොට
ගස් උනත් ඵල දෙන්නෙ එතකොට...

ඉර්තුව මොක උනත්
හතර දිග් බාගෙම හැඩ වෙන්නෙ ඕන අද
මොකද අද ඔක්තෝම්බර් දහය
තාත්තගෙ උපන්දිනේ දවස...

තාත්තෙ හැපී බටූ කියාගෙන
පුරුදු හුරතල් බොළද විදිහට
අදත් උදේ පාන්දර ගෙනෙහින්
මේසෙ උඩින් තිවුව තේ එක...

වෙනද වගේ
"මං එන්නම් පුතේ කුස්සියට "
කියන්න තාත්ත නොහිටියට
තරහ නෑ තාත්තෙ අපි මොනා කරන්නද
ඒ තමා ලෝකෙ කැරකෙන විදිහ...

තාත්තගෙ අර මූණ පුරා ඇදෙන
හරිම ආදරේ හිතෙන
ඒ අහිංසක හිනාවත් එක්ක
එකම එක පාරක් කුස්සිය පැත්තට
ඇවිදින් යන්න එන්න හොරාට
අපි ඉන්නවා බලාගෙන මග
ඉර ලෝකෙට එබෙන්නත්
තා වෙලා තියෙනව හොදටම...

-ලොකූ-


ප.ලි.- තාත්ත මට කියාදුන්නෙ හිතේ ප්‍රශ්ණයක් ආවම ලියන්න කියල.ලියද්දි දුක වේදනවා අඩුවෙනවා කියලා. හැබැයී තාත්තේ තාත්ත ගැන ලියන හැම වෙලාවකම ඒ වේදනාව අළුත් වෙනවා.වේලිච්ච කදුළු උල්පත් ආයෙ සක්‍රීය වෙන්න ගන්නවා.මට තාම හිතා ගන්න බැරි ඒ ඇයි කියලා,කොච්චර ලිවුවත් මේ වේදනාව අඩුවෙන්නෙ නැත්තෙ ඇයි කියලා.


   

Tuesday, August 21, 2018

අරගලය සෑම විටම
නිමේශයකින් සියළු දේ වනසා දමා
ඔහේ හමා යන ප්‍රචණ්ඩ කාරී
සුළිකුණාටුවක්ම විය යුතු නැත
එය විප්ලවකාරී හිත්වලින් ජීවය ලබන
සුන්දර පිවිතුරු වැඩ පිළිවෙලක් විය යුතුය
ගිම්හානයේ අහස සේ සංසුන්ව සැලසුම් සකස් කළයුතුය
ඉඩෝරයකදී පොළව සේ නිශ්චලව සිදු වෙන සියළු දේ
උපේක්ශාවෙන් බලා සිටිය යුතුය
ඕනෑම දෙයක් සිදු කිරීමට සුදුසු
තැනක් සහ වේලාවක් ඇත
එතෙක් නිහඩව බලා සිටිය යුතුය...

අපද අපගේ පාත්‍ර වර්ගයාද
රටේ සාමාන්‍ය ජනතාවද
මේ අරගලය තුලදී සුරක්ශිත විය යුතුය..

අරගලය සෑම විටම
ගිනි කදු යටින් පැසවද්දී
සාමකාමීව රළ මවන
සයුර සේ විය යුතුය
මහා සුළි කුණාටු හමද්දී
උන්ට යාමට ඉඩ දී අයින් වෙන
උණ පදුරු සේ විය යුතුය
එහෙත් සුදුසු කාලය උදා වූ කල්හි
ආරක්ශිතව නැගී සිටිය යුතුය
කිසිවෙකුටත් සිතා ගත නොහැකි වේගයෙන්
කිසිවෙකුටත් අනුමාන කල නොහැකි ආවේගයෙන්
නැගී සිටිය යුතුය
නැවත කිසි විට නොවැටෙන පරිද්දෙන්...
සිදුවූ සියළු අසාධාරණයන්ට
අසාධාරණයන් සිදු කල සියළු දෙනා හට
උත්තර බැදිය යුතුය
ඇසිල්ලකදී මතුවන සුනාමියක් මෙන් නැගී
සියළු පවුකාරයන්ගේ පවූ සෝදා හැර
නැවත නිශ්චලව ඈත මුහුදට යායුතුය...

ඉදින් අනාගතයේදී කිසිවකු අපේ අරගලය ගැන ප්‍රශ්ණ නොකරනු ඇත...

Monday, August 6, 2018

හිත ඇතුලෙ දළු ලාපු
විස හැගුම් පුච්චන්න
මෘදු ලෙසින් දෙතොලතර
සීරුවට දැවටෙන්න
සීතලේ ගිනියමට
තාප වී ඇවිලෙන්න
පෙනහැල්ල උඹෙ නමට
ලිවුව හිතවති ඔන්න...

අතීතයෙ රළ ගහන
මතක හැම යට වෙන්න
මහ දුම් වලාවක්
වෙලා හිත වහගන්න
නහර ඇද්දුන් කවන
වේදනා උහුලන්න
හීනියට මත් බවක්
ඕන මට ලතැවෙන්න....

Tuesday, July 31, 2018

ඔබට ඇයව හමුවූයේ කෙලෙසක දැයි කියන්නට මම නොදන්නෙමි.නමුත් ඉතිහාසයේ යම් දිනක කුමක් හෝ හේතුවකට ඔබට ඇයව මුණ ගැසී ඇත.නැත..එය කිසිසේත්ම අහම්බයක් වීමට නම් නොහැක.ඇයව හමුවීම හුදු අහම්බයක් යැයී යමෙකු පැවසූයේ නම් එය තරම් මුසාවක් තවත් නැතිවනු ඇත.ඔබ ඇයව හමුවන්නට ඇත්තේ කිසියම් හේතුවකටය.අවශ්‍යයෙන්ම ඔබට ඇයගෙන් ලබා ගන්නට යමක් තිබෙන්න ඇත.ඇය හමුවූ පසු ඔබ ඔබේ සිතැගි ඇය හා පවසන්නටද ඇත. දෙවරක් නොසිතාම ඔබේ ආගන්තුක බවද පසෙකලා ඉල්ලූ දේ එකෙනෙහිම ඇය ලබා දෙන්නටද ඇත.

ඒ ඇගේ හැටිය.තමා ජීරණය වුවද සිය ආත්මය උව කැබලි කර පරාර්ථය උදෙසා පූජා කිරීම ඇගේ ස්වභාවයයී..තමන් වෙතට ජීවිතය සොයමින් පැමිණෙන දේවදත්තයෙකු ජූදාස් කෙනෙකු උව අපමණ මාතෘ ස්නේහයෙන් වැළද ගැනීම ඇයගේ ස්වභාවයයී.ඇය හිතුවක්කාරය...ඇගේ ස්නේහය අපරිමිත වන්නේත් මේ හිතුවක්කාර බව නිසාමය.ඇවෙත පැමිණෙන සුහුඹුලෝ සියල්ලටම ඇය හිතුවක්කාර ලෙස ආදරය කල බවට ඉතිහාසය සාක්ෂි දෙනු ඇත.ඇගේ ත්‍යාගශීලීත්වයද එලෙසමය.අයෙකුට විශ්වාස කල නොහැකි තරම් ඇයට ත්‍යාගශීලී විය හැක.ඇගේ මේ අති යහපත් ස්වභාවයන් විටෙක ඈ වෙත අනර්ථයක් ගෙන එතැයී ඇයට පෙම් කරන ඕනෑම අයෙකුට සංකා පහල වීම ස්වභාවිකය.නමුත් කුමක් කරමුද.ඒ ඇගේ හැටිය.ඇය ඇයමය...

මා ඇයව හමුවූ මුල්ම දිනය මට අද වගේ මතකය.එය සරත් සමයේ අගද නැතහොත්  වස්සානයේ මුලද කියා මම තවමත් කල්පනා කරමි.කෙසේ හෝ වේවා එය ඉර්තු පෙරලෙන කාලයක දවසක් බව මතකය.හීන අහුලන්නට එක පොකුරට ඈ තුරුලට පියමැන ආ අනෙකුත් යෞවන යෞවනියන්  සමග එකතුව මමද ඈ වෙතට පියමැන්නෙමි. මග දෙපස ගැබ්බර මල් පොහොට්ටු සුමුදු සුළගට රොන් සුනු එක්කරන්නට පෙරුම් පුරමින් අඩි පාරට බරව කල්පනා ලොව නිමග්නව සිටියත් වරින් වර ඉස්සී අප දෙස බලා කෝඩුකාර සිනහවන් පෑවෝය.කොහේදෝ අන්තයක සිට අඹ මල් සුවදින් හැඩවී දඩි බිඩියේ දුවන් ආ සිහිල් සුළං රැල්ල මැයි ගස් පෝලිමක් සලිත කරවමින් අනෙක් අන්තයෙන් ආකාශයට පැන ගත්තේ තාර කට්ටයන් මත රටාවන් මවමින් පතිතවී තිබූ පිහිඹියා කොළ රෑනට පියාපත් දෙමිනි.

එදා පැමිණි අනෙකුත් සියල්ලන් සේම මටද ඇයගෙන් ඉල්ලන්නට යමක් තිබිනි.ඒ පැමිණි සියල්ලන්ටම මෙන්ම මා නම් ආගන්තුකයාටද  ඉල්ලූ දේ මොහොතකදු නොපැලකී ඈ ලබා දුන්නේ අපරිමිත ස්නේහයකින් බව සටහන් කලයුතුමය...

තත්පර පැය විය...පැය දවස් විය...දවස් සති විය...සති මාස විය...මාස අවුරුදු විය..මෙලෙසින් ඈ සෙවනේ කාලය අප සැවොම පසු කරමින් හැල්මේ දුවන්නට විය..

ගෙවුනු හැම නිමේශයකම අපට ඇයගෙන් ඉල්ලන්නට අලුත් යමක් තිබිනි.එසේම ඒ සෑම ඉල්ලීමක්ම ඉටුවූයේ මොහොතකදු ප්‍රමාදයක් නොවෙමිනි.ඈ අපගේ හීන හැබෑ කල ඉෂ්ට දේවතාවුන් විය.එක අතකට ජීවිතය ඇහිදින මේ පුංචි උන් ගැන ඇයට අනුකම්පා හිතෙන්නට ඇත. එනිසා ඇයට එන්න එන්නම ජීරණය වන්නා වූ ස්වකීය ශරීරය,ආයුෂය ගැන සිතන්නට පවා අමතක වූ හැඩය.කෙසේ හෝ වේවා අප පුන පුනා කෙතරම් දේ ඉල්ලූවත් ඇය අපෙන් පෙරලා යමක් ඉල්ලූ දවසක් මාගේ මතකේ නැත.ඇයගෙන් එකදු ඉල්ලීමක් වත් නැත.හරි පුදුමය...අනිකුත් පුදුමයන් මෙන්ම මේ පුදුමයද අප සාදාරණීකරණය කලේ ඒ ඇයගේ හැටි වෙන්නැති කියාය...

පෙනුමෙන් සහ ශරීර සෞඛ්‍යයෙන් කෙතරම් අබල දුබල උවත් ස්වකීය සුඹුලන් වෙනුවෙන් ඇය සිය අවසන් ප්‍රාණයද කැප කරමින් යුතුකම් ඉටු කරන්නේ පුදුමාකාර මාතෘත්වයක් හිතේ දරාගෙනය.මෙය නම් කිසිවකුටවත් ඇදහිය නොහැකි කැපවීමකි.පරිත්‍යාගයකි...ආගන්තුකයො රෑනක් වෙනුවෙන් මෙතරම් ස්නේහයක් ??? සුපුරුදු පරිදි පැවසීමට ඇත්තේ ඒ ඇයගේ හැටිය කියාය..

හිතවත, ඇය සෙවනේ මේ ගෙවූ කාලය තරම් සොදුරු කාලයක් ඔබ ජීවිතවල තවත් තිබේ  දැයී කියා පවසන්නට මම නොදනිමි.නමුත් විශ්වාසය.ඈ සෙවෙනේ ගෙවූ සෑම නිමේශයක්ම හදවතේ ගැඹුරුම තැනක මතකයක් ලෙසින් තැන්පත්ව, ඉහලට ගන්නා හුස්මක් හුස්මක් පාසාම රුධිරයට මුහුවෙමින් ඔබව ජීවත් කරවනා බව සහතිකය.

අඹ සෙවනේ අඹයක රසය,මැද මිදුලේ පීදෙන මල් වල සුවද, මැයි ගස් සියඹලා ගස් යට විසිරිච්ච මතක,ඩෙස් බංකු පතාක බිත්ති ලෝකෙට වසන් කරපු ඔබේම පමණක් උනු කතාවන්, දවසක් ගානෙම ලියලාපු සහෝදරකම් , මේ පිං බිම තුල හමුවෙච්ච ප්‍රේමයන් , හිත අගිස්සේ මතුවෙන විදුලි සැරක් මෙන් තවමත් රිදුම් දෙන විරහවන්....

ඔවූ මේ සියල්ලම ඔබේ මතකයන් තුල අගුළු දා ඇති බව විශ්වාසය.එහෙත් තාමත් ජීවිතේ වේදනා බර අවස්ථා අභිමුක සිහිපත් වෙන මොහොතක් පාසාම ඔබේ මුහුනත සිනහවකින් සරසමින් සියලු ලැතැවුල් අතුරුදහන් කරන්නට තරම් ජීව ගුණයක් ඒ මතකයන්ට තිබීමද සැබවින්ම ආශ්චර්‍යය ජනකය.

මා කලිනුත් සටහන් කල පරිදි අප කෙතරම් දෑ ඇයගෙන් ඉල්ලුවද, ලබා ගත්තද ඇය කිසිවක් අපගෙන් ඉල්ලා හෝ බලාපොරොත්තු වී නැත.එහෙත් මේ මොහොතේ ඇය වෙනුවෙන් එකමුතු නොවෙන දෑත් වලින් මේ ලොවට කවර නම් සෙතක් වේද? තම  මවුන් රැක ගත නොහැකි දූ දරු පිරිසකට ස්වභාධර්මයෙන් නම් කිසිදා සමාවක් නොලැබෙනු ඇත.

එකමුතු වෙමු.එක්ව සටන් කරමු. NDESමවුන් රැක ගමු...

Wednesday, July 4, 2018

වැස්සක් කියන්නේ
මල් වලට ජීවයක්
ඒ උනත් අනෝරා
මල් තලන මාරයෙක්...

හිරු කිරණ කියන්නේ
ලොවකට ත්‍යාගයක්
ඒ උනත් ඉඩෝරය
පොළවට මරණයක්...

තනිකම කියන්නේ
කවියෙකුට නිදහසක්
ඒ උනත් හිස්කම
කවි හිතට සාපයක්...

Tuesday, April 17, 2018

මූසලම අවුරුද්ද හනික ගෙවිලා යන්න...



පාළුවම ඉතිරිච්ච සාලෙ මැද විසිරෙන්න
එක හිනාවක් ඇතිනෙ නිහඩ බව බිදලන්න
අම්මගේ කදුලු ගග මොහොතකට නවතන්න
කතාවක් හෙම ගොතන් තාත්තේ මෙහෙ එන්න...

අවුරුද්දෙ නැකැත් ටික තක්කෙටම ඉටුවෙන්න
රේඩියෝවත් අරන් කුස්සියට ලං වෙන්න
අම්මාගෙ මහන්සිය මොහොතකට දුරුවෙන්න
එක විහිළුවක් ඇතිනෙ අවුරුද්ද හැඩ වෙන්න...

පංසලේ ඝංටාරේ ඇහෙද්දී ලං වෙන්න
ලොකු හාමුදුරුවන්ට බුලත් දී වැද ගන්න
නොනගතේ පූජාවෙ ලෑස්තිය විමසන්න
සුදු සරම ජැන්ඩියට තාත්තේ හැද එන්න

පෝලිමට බුලත් දී දෙපතුලට ලං වෙන්න
දණ ගසා වදිනවිට ඔළුව අත ගා ගන්න
බත් කටක් කවාගෙන හිතම පුරවා ගන්න
ඇවිලිච්ච මතකයන් ගිනි පිඹිනවා ඔන්න

ලිද එක්ක ගණු දෙනුව කරන්නට එක් වෙන්න
පරක්කුලු හොදටෝම අම්ම බණිනව ඔන්න
අඹ ගහේ එල්ලාපු ඔංචිල්ලෙ පැද ගන්න
තාත්තේ වෙනද වගෙ තල්ලුවක් දී යන්න

අකුණු පුපුරන විටදි සාලෙ සෙටියට පැන්න
සේරෝම ගුලි වෙද්දි රස කතා දොඩවන්න
වැහි අදුර ගිලගද්දි ලෝකයම බයවෙන්න
තාත්තේ නුඹෙ එළියෙ අහසටම විහිදන්න

නෑ ගෙවල් හතර අත ත්‍රීවිලේ ඇවිදින්න
පත්තරේ බලන විට ටැබ්ලොයිඩ් උදුරන්න
අක්ක මලයා එක්ක උන රණ්ඩු බේරන්න
කෝට්ටක් අරන් හරි ඉක්මනට මෙහෙ එන්න

ගෙදර හැම අස්සක්ම මුල්ලක්ම පෑහෙන්න
ඔබේ රුව මැවෙනවා මුලු හිතම ඇවිලෙන්න
මූසලම අවුරුද්ද හනික ගෙවිලා යන්න
තාත්තේ බැහැ මෙහෙම වියෝ දුක් උහුලන්න...